අනතුරුදායක ගස් ඉවත් කිරීම
1. හැඳින්වීම
I. ජනතාවගේ සුඛ විහරණය, පහසුව, සුභ සාධනය සහ සියලු පහසුකම් ආරක්ෂා කිරීම පළාත් පාලන ආයතන වෙත පැවරී ඇති කර්තව්‍යයන් අතර වේ. පළාත් පාලන ආයතනයක් වශයෙන් සහ පොදු මහජන සුභසිද්ධිය අරමුණ කරගත් රාජ්‍ය ආයතනයක් ලෙස අප සභාව ජනතාව වෙත සමීප කරවීමේ පරම අභිලාශයෙන් යුතුව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ. එමෙන් ම මහජන පීඩා වැළැක්වීම සඳහා ද මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලැබේ. එහි දී ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ යම් තැනැත්තෙකුගේ දේපළක ආරක්ෂාවට තර්ජනයක් වන ගස් හෝ ගස්වල අතු හෝ කඳන් හෝ ගෙඩි සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සතු වේ.
II. මේ සම්බන්ධව ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කර ඇති විට, යම් ගසකින් හෝ ගසක යම් අත්තකින්, කඳකින්, ගෙඩියකින් හෝ වෙනත් කිසිවකින් යම් ගොඩනැඟිල්ලකට / ජීවිත හා දේපළකට තර්ජනයක් වන්නේ ද යන්න විචාරශීලීව පරීක්ෂා කර බැලීම අත්‍යවශ්‍ය කාරණයක් වේ.
III. ඇතැම් තැනැත්තන් අතර පවතින (ඉඩම් හිමිකරුවන් / හවුල් අයිතිකරුවන් / පවුල් අතර) පෞද්ගලික ආරවුල් සම්බන්ධ කරගනිමින් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලබන අවස්ථා සහ ඉඩම් අයිතිය පිළිබඳ හබ කිරීම් සම්බන්ධයෙන් අධිකරණ කටයුතු ආරම්භ කර ඇති අවස්ථා පැවතිය හැකි බැවින් සැළකිළිමත් වීම ඉතා වැදගත් වේ.
IV. ඉල්ලීම් ලිපියට / අයදුම්පතට / පැමිණිල්ලට අදාළව පීඩාවක් ඇති වීමට ඉඩ ප්‍රස්තාව ඇත්තේ සම්පූර්ණ ගසෙන් ද, කිසියම් කොටසකින් ද, ගෙඩියකින් ද, ගෙඩිවලින් ද යන්න නිවැරදිව හඳුනාගැනීම සිදු කළ යුතුව ඇත.
V. යම් අවස්ථාවක යම් තැනැත්තෙකුගේ ගොඩනැඟිල්ලකට, ජීවිත හා දේපළකට හානි සිදු විය හැකි යම් ගසක් සම්පූර්ණයෙන් ම කපා බිම හෙලීමට හෝ ඉන් කොටසක් කපා බිම හෙලීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති අවස්ථාවක දී නියෝගය නිකුත් කිරීමට ප්‍රථම එම ගස 1956 අංක 9 දරණ ගස් කපා හෙලීම පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද නියෝගවලින් කපා බිම හෙලීම තහනම් කර ඇති ගසක් ද නැති ද යන වග තහවුරු කරගැනීම නීතිමය අවශ්‍යතාවකි.
VI. කිසියම් ගසකින් හෝ කොටසකින් අනතුරුදායක තත්ත්වය ඇත්තේ ගස අයිතිකරුට හෝ හවුල් අයිතිය ඇති ඉඩමක යම් හවුල් අයිතිකරුවෙකුට නම්, එම අනතුරුදායක තත්ත්වය ඉවත් කරගැනීම ගස අයිතිකරු හෝ හවුල් අයිතිකරුවන් විසින් සිදු කළ යුතු ය.
VII. කොස්, දෙල්, පොල් සහ ගැහැණු තල් ගස් හෝ එම ගස්වලින් කොටසක් කපා බිම හෙලීමේ දී එම ගසෙහි අයිතිකරු විසින් ප්‍රාදේශීය ලේකම් මඟින් නිකුත් කරනු ලබන කැපුම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්ය වේ.
2. නෛතික අධිකාරිය
මූලික නීතිය
- 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 107 වන වගන්තිය
වෙනත් නීති
- 1956 අංක 9 දරණ ගස් කපා හෙලීම පාලනය කිරීමේ පනත
- 1956 අංක 9 දරණ ගස් කපා හෙලීම පාලනය කිරීමේ පනත යටතේ සාදන ලද නියෝග
3. සුදුසුකම්
පහත සඳහන් කර ඇති කරුණු සම්පූර්ණ කර ඇති විට ප්‍රාදේශීය සභාව මඟින් සළසා දෙන මෙම සේවාව ලබා ගැනීමට හැකි ය.
- අනතුරුදායක තත්ත්වය පවතින ගස තමාට අයත් ඉඩමක නොපිහිටිය ගසක් විය යුතු ය.
- ගසෙහි අයිතිකරු නොවන වෙනත් යම් තැනැත්තෙකුට ගසකින්, අත්තකින්, කඳකින්, ගෙඩියකින් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමේ අවදානම තහවුරු කළ හැකි විය යුතු ය.
සටහන: ගස පවතින ඉඩමේ අයිතිය, ඉල්ලීම් කරන තැනැත්තා ද ඇතුළුව වෙනත් තැනැත්තන්ට ද හවුලේ පවතින ඉඩමක් වන විට හෝ එම ගස පවතින ඉඩමේ අයිතිය පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගනිමින් පවතින අවස්ථාවක හෝ ඉඩමේ අයිතිය පිළිබඳ ආරවුලක් පවතින අවස්ථාවක එම ගසෙන් සිදු විය හැකි අනතුරුදායක තත්ත්වය සම්බන්ධ ඉල්ලීමක් පළාත් පාලන ආයතනයේ මාණ්ඩලික නිලධරයා / සභාපතිවරයා විසින් ක්‍රියා කිරීමට භාර ගැනීම නොකරනු ඇත.
4. ගාස්තු
ගනු ලැබූ සභා තීරණයකට අනුව අනතුරුදායක ගස් පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ ගාස්තු වශයෙන් රු. 1,000.00 ක මුදලක් අය කරනු ලැබේ.
5. ඉදිරිපත් කළ යුතු ලේඛන
- සකස් කර ඇති ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතු ය.
6. කාර්යපටිපාටිය
| අනු අංකය | පටිපාටිය | කාල සීමාව | වගකීම |
|---|---|---|---|
| 1 | ඉල්ලුම්පත්‍රය භාරගැනීම | - | විෂයභාර නිලධාරි |
| 2 | ලේකම්තුමියගේ අවධානයට යොමු කිරීම, සටහන් යොදා ගැනීම | ඉල්ලුම්පත්‍රය ලැබුණු දින ම | විෂයභාර නිලධාරි |
| 3 | තාක්ෂණික නිලධාරි වෙත යොමු කිරීම | ඉල්ලුම්පත්‍රය ලැබුණු දින ම | විෂයභාර නිලධාරි |
| 4 | ස්ථානීය පරීක්ෂණයට පැමිණෙන දිනය ඉල්ලුම්කරුට තහවුරු කිරීම | ඉල්ලුම්පත්‍රය තාක්ෂණික නිලධාරි වෙත ලැබුණු දින ම | තාක්ෂණික නිලධාරි |
| 5 | ස්ථානීය පරීක්ෂණය සිදු කර නිර්දේශ ලේකම් වෙත යොමු කිරීම | ස්ථානීය පරීක්ෂණය සිදු කළ දින ම | තාක්ෂණික නිලධාරි |
| 6 | තාක්ෂණික නිලධාරි නිර්දේශය තහවුරු කරමින් ඉල්ලුම්පත්‍රය සභාපති වෙත යොමු කිරීම | තාක්ෂණික නිලධාරි නිර්දේශය ලැබුණු වහාම | ලේකම් |
| 7 | ඉල්ලීම සම්බන්ධ නියමය ලබා දීම | තාක්ෂණික නිලධාරි නිර්දේශය ලැබුණු වහාම | සභාපති |
| 8 | නියෝගය ගස අයිතිකරුට දන්වා ලිපි යොමු කිරීම | සභාපතිගේ නියමය ලද වහාම | ලේකම් / සභාපති |
| 9 | නියෝගය ක්‍රියාත්මක කර නොමැති බවට ඉල්ලුම්කරු විසින් වාර්තා කිරීම | - | ඉල්ලුම්කරු |
| 10 | පළමු, දෙවන සිහිකැඳවීම් සහ අවසන් නිවේදනය යොමු කිරීම | නියෝගය ක්‍රියාත්මක කර නොමැති බවට දැනුම් දුන් විට | ලේකම් / සභාපති |
| 11 | 1987 අංක 15 දරණ ප්‍රාදේශිය සභා පනතේ අංක 107 අනුව කටයුතු කිරීම | අවසන් නිවේදනය ද නිකුත් කර ගස කපා නොමැති බව ඉල්ලුම්කරු දැනුම්දුන් පසු | ලේකම් / සභාපති |
සේවා
අමතන්න
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
045-2287276
045-2288909
balangodaps@gmail.com
071-3734992
077-4073305



